Saturday, September 27, 2014

කුවේණිය

            කුවේණිය නම් වූ හෙන්රි ජයසේනයන්ගේ වේදිකා නාට්‍යය 1963 වසරේ නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කරන ලද්දක් ලෙස හඳුනාගත හැකිය. එහිදී මෙම නාට්‍යය ශෛලීගත අංශයේ,
                               හොඳම රචනය
                               හොඳම නිෂ්පාදනය
                               හොඳම සංගීතය
                               හොඳම නිළිය
සඳහා වන සම්මාන දිනා ගන්නා ලදී. මෙම නාට්‍යය තුළින් එදා පියවර කිහිපයක් ඉදිරියට ගමන්කොට තිබූ අපේ ජාතික කරලිය තවත් ඉදිරියට තල්ලු කළා පමණක් නොව ඉතිහාසයේ සහ ජනප්‍රවාදයේ ආ කතාවක් පිළිබඳ අලුත් මතයක් ද ඉදිරිපත් කළේය.
                ජයසේනයන් කුවේණි නාට්‍යයේ කතා වස්තුව ගොඩනැගීම සඳහා යොදා ගත්තේ ලංකා ඉතිහාසය හා සම්බන්ධ ඉතා වැදගත් චරිතයක් වූ කුවේණිය හා සම්බන්ධ කතා පුවතයි. ලංකාවේ ප්‍රථම සිංහල රජුගේ මුල් බිසව වශයෙන් සලකන ඇය පිළිබඳව තොරතුරු සපයන මූලාශ්‍ර රාශියකි. 5 වන සියවසේ ලියැවුනු මහාවංශ ටීකාව, 16 වන සියවසේ ලියැවුණු කුවේණි අස්න, 18 වන සියවසේ ලියැවුණු රාජාවලිය සහ විජයරාජ කතාව තුළද මෙම පුවත අන්තර්ගත වුවද ප්‍රසිද්ධවූත් විශ්වාසදායකවූත් පැරණිවූත් විස්තර ඇත්තේ මහාවංශයේය.
                මෙම පොත්වල කුවේණියගේ අධි මානුෂික ස්වභාවය හුවා දක්වමින් ඇය යක්ෂණියක් යන අදහස වර්ධනය කර ඇත. ජයසේනයන් කුවේණී නාට්‍යය සඳහා යොදා ගත්තේ ඉතිහාසයෙහි හා ජනප්‍රවාදයෙහි සඳහන් මෙම කතා පුවතම වුවද එහි විශේෂත්වය වූයේ ඉදිරිපත් කිරීමේ දී තිබූ අපූර්වත්වයයි. ඉතිහාස පුරාවෘත්තය තුළින් ඉතා සංකීර්ණ ජීවන අරුතක්, දර්ශනයක් ඉදිරිපත් කරයි. ඉතිහාස කතාවට අමුතු මුහුණුවරක් දීම පමණක් නොව එවැනි සාමාජික අත්දැකීම් මිහිතලය පවතින තුරා කාටත් පොදු විය හැකි බව ජයසේනයන්ගේ අදහස වීය.

අපට පුතේ මඟක් නැතේ

                        හෙන්රි ජයසේනයන් විසින් 1968 දී නිර්මාණය කරන ලද "අපට පුතේ මඟක් නැතේ" ස්වතන්ත්‍ර නාට්‍යය ලාංකීය සමාජ, දේශපාලන ආදී පදනම මත ගොඩනැගුනකි. නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ වීමෙන් පසු, එතෙක් ධනපති පන්තියට පමණක් සීමා වී තිබූ උසස් අධ්‍යාපන අයිතිය මෙරට ග්‍රාමීය දරු දැරියන්ටද හිමි වන්නට විය. එසේ වුව වර්තමානයේ පවා නිදහස් අධ්‍යාපනයෙන් නියම පල නෙළා ගැනීමට මෙරට මානව මානවිකාවන්ට හැකියාවක් ලැබී නැත. වර්තමානයෙහි ග්‍රාමීය සමාජයෙහි ආර්ථික දුෂ්කරත සහිත එහෙත් අතිදක්ෂ සිසුහු විවිධ ප්‍රශ්න සහිතව විශ්වවිද්‍යාලයන්ට අතුලත්ව උසස් අධ්‍යාපනය ලබති. එහෙත් එම අධ්‍යාපනයෙන් ඔවුන් පතන ලෝකය ගොඩනගා ගැනීමට නොහැකිව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින පිරිස අති විශාලය. මෙම නාට්‍යය එක්තරා ආකාරයකට පෙරලිකාර නාට්‍යයක් වශයෙන් හැදින්විය හැකිය. දිළිදු මවක හා පුතෙකු වටා ගෙතුණු සමාජයේ අනුවේදනීය තත්වය පැහැදිලි කරන කතා සන්දර්භයකින් මෙම නාට්‍යය සමන්විත වේ.

"උපාධි අපේක්ෂක තරුණයාගේ සියදිවි නසා ගැනීම.... තවමත් පේරාදෙණිය ඔහු ගැන කතාබහ කරයි..... පියා මියගොස්.... මවට තනිවම වියදම් දැරිය නොහැක..."
 (Ceylon Observer, 1967.01.14)

                                1965 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගැටඹේ ප්‍රදේශයේ පදිංචි වී සිටි ඒ. එම්. සුමනදාස පියා අහිමි වූවෙකි. කළුගල් තැලීම සිය ජීවනෝපාය කර ගත් මව තම පුතුට කෙසේ හෝ අවැසි මුදලින් කොටසක් සපයා දුන්නීය. එසේම විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ශිෂ්‍යාධාර ද ලබමින් අධ්‍යාපන කාර්යයෙහි නිමග්න වූ සුමනදාස පළමු වසර අවසන් පරීක්ෂණයෙන් අසමත් වෙයි. එහෙයින්ම ශිෂ්‍යාධාරය ද ඔහුට අහිමි වෙයි. මෙයින් කම්පාවට පත් ඔහුට තම අසරණ මවට මුහුන දීමට නොහැකි වෙයි. තමා ලද විශ්වවිද්‍යාල වරමින් ජීවිතය දිනනු වස් කැප වූ ඔහු උද්ගත වූ මෙම පරිසරය නිසා ඔහුට වැටහුණු එකම ගැල්වීමේ මාර්ගය වූ සිය දිවි හානි කර ගැනීම අවසන් විසදුම වශයෙන් ගනී.

Thursday, September 25, 2014

හෙන්රි ජයසේන



  1931 ජූලි 06 වන දින ගම්පහ බ්‍රැන්ඩියමුල්ලෙහි උපන් මොහු 1947 කොළඹ නාලන්දා විදුහලේ ආචාර්ය වරයෙකු වූ යූ. ඒ. එස්. පෙරේරා විසින් නිශ්පාදනය කොට එම විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කරන ලද "හරිශ්චන්ද්‍ර" නාටකයේ රෝහණ කුමාරයාගේ චරිතය රඟ පාමින් පාසල් වියෙහිදී ම නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ විය. ළමා මණ්ඩපය නම් ගුවන් විදුලි වැඩසටහනෙහි සිව්පද ගායනයට ද අවස්ථාව හිමි කර ගත්තේය. පසුව 1951 වර්ෂයේ පදියපැලැල්ල ප්‍රදේශයේ පිහිටි දෙහිපේ ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ අවදියේ දී එහි ගුරුමණ්ඩලය හා සිසුන් සමඟ "රාමායනය" අනුව සකසන ලද "ජානකී" වේදිකා නාට්‍යයෙන් ඔහුගේ පෞද්ගලික නාට්‍ය දිවිය අරඹන ලදී.
පසුව කොළඹ වැඩ දෙපර්තමේන්තුවේ සේවය කළ අවඩියේදී ටී. බී. ඉලන්ගරත්නයන්ගේ නාට්‍ය රචනාවක් වූ "හඳහන" නට්‍යයේ රඟපෑමෙන් සිය වෘත්තීයමය නාට්‍ය දිවිය ආරම්භ කළ හෙන්රි ජයසේනයෝ 1953 දී උසස් පෙළ සඳහා හදාරා තිබූ පී. බී. ෂෙරිඩන්ගේ "ද රයිවල්ස්" නම් ප්‍රහසන නට්‍යය "මනමාලයෝ" නමින් පරිවර්ථනය කොට බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේ ප්‍රදර්ශනය කළහ. මීළඟ වර්ෂයේ දී ඔහු ඔස්කා චයිල්ඩ්ගේ "ද වුමන් ඔෆ් නෝ ඉම්පෝටන්ස්" නම් නාටකයේ පරිවර්ථනය වූ "වැදගත්කම" නාටකයත් 1955 දී සම්භාව්‍ය ග්‍රීක නාට්‍යකරුවෙකු වූ ඇරිස්ටෝෆානිස්ගේ "ක්ලවුඩ්ස්" නම් නාට්‍යයේ පරිවර්තනයක් ලෙස "ඇත්ත කුමක්ද?" නාටකයත් කරළියට රැගෙන ඒමට සමත් වූවේය.
මින් අනතුරුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කීපයකටම රංගනයෙන් දායක විය. 1956 හා1957 යන වර්ෂවලදී මනමේ නාට්‍යයේ මනමේ කුමරුන්ගේ චරිතය රඟපාන ලදී. 1958 වන තුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය කණ්ඩායම සමඟ කටයුතු කළ ජයසේනයෝ 1959 දී කොළඹ විශ්වවිද්‍යාල විද්‍යා පීඨ නාට්‍ය සංගමය සමඟ එක්ව සිය පළමු වන ස්වතන්ත්‍ර නිර්මාණය වූ "පව්කාරයෝ" නාට්‍යය වේදිකා ගත කරන ලදී.
                           1961-1962 -ජනේලය, කුවේණිය
                           1964 -තවත් උදෑසනක්
                           1965 -මනරන්ජන වැඩවර්ජන
                           1968 -අපට පුතේ මඟක් නැතේ
                           1973 -මකරා
                           1975 -සරණ සියොත් සේ පුතුනි හඹා
                           1978 -සිරිසඟබෝ

පරිවර්තන නාට්‍ය
1966 -ඇමෙරිකන් ජාතික ටෙනිස් විලියම්ස්ගේ "ග්ලාස් මෙනාජර්" - "අහස් මාළිගා"
1967 -ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "කොකේසියන් චෝක් සර්කල්" - "හුණුවටයේ කතාව"
1972 -ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "ද මදර් කරේජ් ඇන්ඩ් හර් චිල්රන්ඩ්" - "දිරිය මව සහ ඇගේ දරුවෝ"