Thursday, November 6, 2014

සිංහල සහ දෙමළ නාට්‍ය කලාව

                   1983 වර්ෂයේ සිට ලාංකීය නාට්‍ය කලාව වෙනස් මුහුණුවරක් ගත්තේය. මේ වකවානුව වන විට කොළඹ අවට මධ්‍යම පාන්තික නාට්‍ය කලාවක් බිහි වන්නට විය. ඒ අනුව වර්ධනය වෙමින් පැවති සිංහල නාට්‍ය කලාව වෙනුවට දෙමළ නාට්‍ය කලාවක් ද ප්‍රේක්ෂකයා හමුවට අවතීර්ණ විය. මේ යුගයේ දෙමළ නාට්‍ය කීපයක්ම බිහි වූ අතර ජාතිවාදය මුල් කරගත් සමාජය තුළ දෙමළ නාට්‍ය කලාව මඟින් උතුරේ සංවිධානය වූ තරුණ කණ්ඩායම් දෙමළ ජනතාව මර්ධනය කිරීමට රාජ්‍ය නීති යොදාගෙන ඇති ආකාරය ප්‍රශ්න කිරීමට කටයුතු කරන ලදී. 1978, 79 කාල වකවානුවලදී ලාංකීය ඉතිහාසය තුළ දේශපාලනික වශයෙන් වෙනස්කම් රැසක් ඇති වන්නට විය. මෙම යුගයන්හි ඇති වූ කලු ජූලියත් සමගම ලාංකීය නාට්‍ය කලාව පරිහානිමය ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. මෙම වකවානුවෙන් පසු ඇති වූ යුධමය වාතාවරණයත් සමගම ඇතැම් නාට්‍යකරුවන් රට අතහැර යන්නට විය. ඒ අනුව ලංකාවේ දකුණු ප්‍රදේශයේ දෙමළ නාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූ නමුත් මඩකලපුව වැනි ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් දෙමළ නාට්‍ය නිර්මාණය විය.

                      කෙසේ නමුත් මේ වකවානුව වන විට බිහිව තිබූ දෙමළ නාට්‍ය අතරින් 1985 දී එස්. ශංමුගලිංගම් විසින් නිර්මාණය කරන ලද "With Sweat and Dust on their Shoulders" නම් නාට්‍යයත් 1992 දී නිර්මාණය කරන ලද "The Land of our Parents" නාට්‍යයත් විශේෂ තැනක් ගනී. මෙම දෙමළ නාට්‍ය ඔස්සේ උතුරේ එවකට පැවති යුද්ධය පිළිබඳ සාකච්ඡා කෙරේ. ඒ අනුව අවතැන් වූ දෙමළ ප්‍රජාවගේ ජීවිත පිළිබඳව මේ ඔස්සේ කතා කරනු ලැබේ.

                    මෑතකාලීන ලාංකීය නාට්‍ය කලාව තුළ ද ජන වාර්ගික ගැටලු හා යුද්දය තේමා කරගත් නාට්‍ය කිහිපයක් බිහි වී ඇත. ඒ අතරින් 2000 වසරේ නිර්මාණය කරන ලද සමන් ගාමිණී කුමාරසිංහගේ "මාගේ දේශය අවදි කරනු මැන" නාට්‍යය හා සුමේධ මුනසිංහගේ "රාජිණී ගැබ්බරයි" නාට්‍යය යුධමය වාතාවරණය තේමා කොටගත් නාට්‍යයන් වශයෙන් හඳුනාගත හැකිය.

Sunday, October 12, 2014

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය

            1940 හා 50 ගණන්වල පශ්චාත් විජිතවාදී යුගය තුළ නව නාට්‍ය කලාවක් බිහි කළ හැකි ආකාරයක් සොයා බැලුණි. ඒ අනුව උනන්දුවක් දැක්වූ එදිරිවීර සරච්චන්ද්‍රයෝ විදේශයන්හි සංචාරය කොට විවිධ නාට්‍ය ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ ඇසුරින් 1956 දී මනමේ නාට්‍යය නිර්මාණය කළහ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වූ මෙම යුගය තුළම බිහි වූ මනමේ නාටකය ද එම වකවානුවෙහි රට තුළ පැවති සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වයන්ට අනුගතව නිර්මාණය වූවක් බව හඳුනාගත හැකිය.
                 නාට්‍යයක් වශයෙන් සමාජයට මනමේ නාටකය ප්‍රවිශ්ට වීමට මත්තෙන් වීදි නාට්‍ය නිර්මාණය වී පැවතුණි. ගාමිණී හත්තොටුවෙගම යනු එම වීදි නාට්‍ය කලාවේ එක් පුරෝගාමියෙකි. වීදි නාට්‍ය ද නාඩගම් සම්ප්‍රදායෙහිම එක් අවස්ථාවකි. නාඩගම් සම්ප්‍රදාය ඇතිවීමට මුල් වන්නේ ද්‍රවිඩ කතෝලික ආගමික පරිසරයයි. එනම් ද්‍රවිඩ කතෝලික දහමෙහි ව්‍යාප්තිය උදෙසා බිහි වූ මෙම කලාව පසුකාලීන බෞද්ධ කලාවට ද ඉවහල් විය.
                 මනමේ නාට්‍යය තිරගත වූ අවදියෙහි පැවති දේශපාලන හා සමාජමය වාතාවරණය හේතුවෙන් යටත් විජිත වාදයෙන් ඔලුව උදුම්මවාගෙන සිටි ඉංග්‍රීසීන් අනුකරණය කරන ලද දේශීය ජනයා දේශීය කලාව කෙරෙහි වැඩි නැඹුරුවක් නොදැක්වීය.
දේශීය කලා අංගයක් වූ මනමේ නාටකය මුල් කාලීනව එතරම් අවධානයට පාත්‍ර නොවීය. ඒ අනුව මනමේ නාට්‍ය වැනි සිංහල නාට්‍ය නැරඹීමට උසස් පැලැන්තියේ අයගේ පැමිණීමක් දක්නට නොලැබුණ ද ඔවුනගේ මෙහෙකරුවන් සඳහා උචිත නාට්‍යයක් ගණයට එය යොදාගන්නා ලදී.
                 නමුත් පසු කාලීනව නාට්‍ය විචාරකයෙකු විසින් රචනා කරන ලද ඉංග්‍රීසි විචාරයක් හේතුවෙන් මනමේ නාට්‍යය නැරඹීමට බොහෝ පිරිසක් නැඹුරු වන්නට විය.
                 මනමේ නාටකය පළමු වරට පෙන්වූයේ ලයනල් වෙන්ට් කලාගාරයෙහි දීය. එනම් 1956 නොවැම්බර් මාසයේදීය. එතෙක් එම කලාගාරයේදී පෙන්වා තිබුණේ ඉංග්‍රීසි නාට්‍ය පමණී.
                   නාට්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට සිංහල නාට්‍ය මෙන්ම ද්‍රවිඩ නාට්‍ය ද මෙම වකවනුව වන විට බිහි වෙමින් පැවතිණි. කන්දස්වාමි කනපතිපිල්ලේ යන නාට්‍ය නිර්මාණ ශිල්පියා විසින් ද්‍රවිඩ නාට්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. ඒ අනුව ද්‍රවිඩ ජනතාවගේ දෘෂ්ඨි කෝණයට අනුව එවකට පැවති සමාජ අවශ්‍යතාවයක් පිළිබඳ විෂය කොට ගනිමින් නාට්‍ය නිර්මාණය කෙරුණි. ඒ අනුව නිර්මාණය කරන ලද නාට්‍යයක් වශයෙන් "The Traitors" යන නාට්‍යය හඳුන්වා දිය හැකිය. දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් ඉල්ලීම් කරන පිරිසකගේ කතාවක් තේමා කොට ගනිමින් කනපතිපිල්ලේ මහතා විසින් නිර්මාණය කරන ලද මෙම ද්‍රවිඩ නාට්‍යය කාලීන අවශ්‍යතාවයක් අරමුණු කොට ගෙන නිර්මාණය කරන ලද්දකි. මනමෙ නාටකය ද එවන්වූ කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් ගොඩනගන ලද නිර්මාණයක් ලෙස හඳුනා ගත හැකිය.
              Professor Vidyanandan මනමේ නාට්‍යය නරඹා උද්දාමයට පත් විය. ඔහු එය "Kutthu" නම් නිර්මාණයට සමාන යැයි ද ප්‍රකාශ කරන ලදී.
                     මනමේ නාටකය සඳහා ආභාස ලබා ඇතැයි සැලකෙන නිර්මාණයන් වන්නේ Rynosuke Akuthagawaගේ "In a Grove" නම් කෙටි කතාවට අනුව නිර්මාණය කරන ලද අකිරා කුරසෝවාගේ "රෂෝමාන්" නාට්‍යය හා ජාතක කතා පොතෙහි එන චුල්ලධනුද්ධර ජාතකයයි.

Saturday, September 27, 2014

කුවේණිය

            කුවේණිය නම් වූ හෙන්රි ජයසේනයන්ගේ වේදිකා නාට්‍යය 1963 වසරේ නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කරන ලද්දක් ලෙස හඳුනාගත හැකිය. එහිදී මෙම නාට්‍යය ශෛලීගත අංශයේ,
                               හොඳම රචනය
                               හොඳම නිෂ්පාදනය
                               හොඳම සංගීතය
                               හොඳම නිළිය
සඳහා වන සම්මාන දිනා ගන්නා ලදී. මෙම නාට්‍යය තුළින් එදා පියවර කිහිපයක් ඉදිරියට ගමන්කොට තිබූ අපේ ජාතික කරලිය තවත් ඉදිරියට තල්ලු කළා පමණක් නොව ඉතිහාසයේ සහ ජනප්‍රවාදයේ ආ කතාවක් පිළිබඳ අලුත් මතයක් ද ඉදිරිපත් කළේය.
                ජයසේනයන් කුවේණි නාට්‍යයේ කතා වස්තුව ගොඩනැගීම සඳහා යොදා ගත්තේ ලංකා ඉතිහාසය හා සම්බන්ධ ඉතා වැදගත් චරිතයක් වූ කුවේණිය හා සම්බන්ධ කතා පුවතයි. ලංකාවේ ප්‍රථම සිංහල රජුගේ මුල් බිසව වශයෙන් සලකන ඇය පිළිබඳව තොරතුරු සපයන මූලාශ්‍ර රාශියකි. 5 වන සියවසේ ලියැවුනු මහාවංශ ටීකාව, 16 වන සියවසේ ලියැවුණු කුවේණි අස්න, 18 වන සියවසේ ලියැවුණු රාජාවලිය සහ විජයරාජ කතාව තුළද මෙම පුවත අන්තර්ගත වුවද ප්‍රසිද්ධවූත් විශ්වාසදායකවූත් පැරණිවූත් විස්තර ඇත්තේ මහාවංශයේය.
                මෙම පොත්වල කුවේණියගේ අධි මානුෂික ස්වභාවය හුවා දක්වමින් ඇය යක්ෂණියක් යන අදහස වර්ධනය කර ඇත. ජයසේනයන් කුවේණී නාට්‍යය සඳහා යොදා ගත්තේ ඉතිහාසයෙහි හා ජනප්‍රවාදයෙහි සඳහන් මෙම කතා පුවතම වුවද එහි විශේෂත්වය වූයේ ඉදිරිපත් කිරීමේ දී තිබූ අපූර්වත්වයයි. ඉතිහාස පුරාවෘත්තය තුළින් ඉතා සංකීර්ණ ජීවන අරුතක්, දර්ශනයක් ඉදිරිපත් කරයි. ඉතිහාස කතාවට අමුතු මුහුණුවරක් දීම පමණක් නොව එවැනි සාමාජික අත්දැකීම් මිහිතලය පවතින තුරා කාටත් පොදු විය හැකි බව ජයසේනයන්ගේ අදහස වීය.

අපට පුතේ මඟක් නැතේ

                        හෙන්රි ජයසේනයන් විසින් 1968 දී නිර්මාණය කරන ලද "අපට පුතේ මඟක් නැතේ" ස්වතන්ත්‍ර නාට්‍යය ලාංකීය සමාජ, දේශපාලන ආදී පදනම මත ගොඩනැගුනකි. නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ වීමෙන් පසු, එතෙක් ධනපති පන්තියට පමණක් සීමා වී තිබූ උසස් අධ්‍යාපන අයිතිය මෙරට ග්‍රාමීය දරු දැරියන්ටද හිමි වන්නට විය. එසේ වුව වර්තමානයේ පවා නිදහස් අධ්‍යාපනයෙන් නියම පල නෙළා ගැනීමට මෙරට මානව මානවිකාවන්ට හැකියාවක් ලැබී නැත. වර්තමානයෙහි ග්‍රාමීය සමාජයෙහි ආර්ථික දුෂ්කරත සහිත එහෙත් අතිදක්ෂ සිසුහු විවිධ ප්‍රශ්න සහිතව විශ්වවිද්‍යාලයන්ට අතුලත්ව උසස් අධ්‍යාපනය ලබති. එහෙත් එම අධ්‍යාපනයෙන් ඔවුන් පතන ලෝකය ගොඩනගා ගැනීමට නොහැකිව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින පිරිස අති විශාලය. මෙම නාට්‍යය එක්තරා ආකාරයකට පෙරලිකාර නාට්‍යයක් වශයෙන් හැදින්විය හැකිය. දිළිදු මවක හා පුතෙකු වටා ගෙතුණු සමාජයේ අනුවේදනීය තත්වය පැහැදිලි කරන කතා සන්දර්භයකින් මෙම නාට්‍යය සමන්විත වේ.

"උපාධි අපේක්ෂක තරුණයාගේ සියදිවි නසා ගැනීම.... තවමත් පේරාදෙණිය ඔහු ගැන කතාබහ කරයි..... පියා මියගොස්.... මවට තනිවම වියදම් දැරිය නොහැක..."
 (Ceylon Observer, 1967.01.14)

                                1965 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගැටඹේ ප්‍රදේශයේ පදිංචි වී සිටි ඒ. එම්. සුමනදාස පියා අහිමි වූවෙකි. කළුගල් තැලීම සිය ජීවනෝපාය කර ගත් මව තම පුතුට කෙසේ හෝ අවැසි මුදලින් කොටසක් සපයා දුන්නීය. එසේම විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ශිෂ්‍යාධාර ද ලබමින් අධ්‍යාපන කාර්යයෙහි නිමග්න වූ සුමනදාස පළමු වසර අවසන් පරීක්ෂණයෙන් අසමත් වෙයි. එහෙයින්ම ශිෂ්‍යාධාරය ද ඔහුට අහිමි වෙයි. මෙයින් කම්පාවට පත් ඔහුට තම අසරණ මවට මුහුන දීමට නොහැකි වෙයි. තමා ලද විශ්වවිද්‍යාල වරමින් ජීවිතය දිනනු වස් කැප වූ ඔහු උද්ගත වූ මෙම පරිසරය නිසා ඔහුට වැටහුණු එකම ගැල්වීමේ මාර්ගය වූ සිය දිවි හානි කර ගැනීම අවසන් විසදුම වශයෙන් ගනී.

Thursday, September 25, 2014

හෙන්රි ජයසේන



  1931 ජූලි 06 වන දින ගම්පහ බ්‍රැන්ඩියමුල්ලෙහි උපන් මොහු 1947 කොළඹ නාලන්දා විදුහලේ ආචාර්ය වරයෙකු වූ යූ. ඒ. එස්. පෙරේරා විසින් නිශ්පාදනය කොට එම විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කරන ලද "හරිශ්චන්ද්‍ර" නාටකයේ රෝහණ කුමාරයාගේ චරිතය රඟ පාමින් පාසල් වියෙහිදී ම නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ විය. ළමා මණ්ඩපය නම් ගුවන් විදුලි වැඩසටහනෙහි සිව්පද ගායනයට ද අවස්ථාව හිමි කර ගත්තේය. පසුව 1951 වර්ෂයේ පදියපැලැල්ල ප්‍රදේශයේ පිහිටි දෙහිපේ ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ අවදියේ දී එහි ගුරුමණ්ඩලය හා සිසුන් සමඟ "රාමායනය" අනුව සකසන ලද "ජානකී" වේදිකා නාට්‍යයෙන් ඔහුගේ පෞද්ගලික නාට්‍ය දිවිය අරඹන ලදී.
පසුව කොළඹ වැඩ දෙපර්තමේන්තුවේ සේවය කළ අවඩියේදී ටී. බී. ඉලන්ගරත්නයන්ගේ නාට්‍ය රචනාවක් වූ "හඳහන" නට්‍යයේ රඟපෑමෙන් සිය වෘත්තීයමය නාට්‍ය දිවිය ආරම්භ කළ හෙන්රි ජයසේනයෝ 1953 දී උසස් පෙළ සඳහා හදාරා තිබූ පී. බී. ෂෙරිඩන්ගේ "ද රයිවල්ස්" නම් ප්‍රහසන නට්‍යය "මනමාලයෝ" නමින් පරිවර්ථනය කොට බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේ ප්‍රදර්ශනය කළහ. මීළඟ වර්ෂයේ දී ඔහු ඔස්කා චයිල්ඩ්ගේ "ද වුමන් ඔෆ් නෝ ඉම්පෝටන්ස්" නම් නාටකයේ පරිවර්ථනය වූ "වැදගත්කම" නාටකයත් 1955 දී සම්භාව්‍ය ග්‍රීක නාට්‍යකරුවෙකු වූ ඇරිස්ටෝෆානිස්ගේ "ක්ලවුඩ්ස්" නම් නාට්‍යයේ පරිවර්තනයක් ලෙස "ඇත්ත කුමක්ද?" නාටකයත් කරළියට රැගෙන ඒමට සමත් වූවේය.
මින් අනතුරුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කීපයකටම රංගනයෙන් දායක විය. 1956 හා1957 යන වර්ෂවලදී මනමේ නාට්‍යයේ මනමේ කුමරුන්ගේ චරිතය රඟපාන ලදී. 1958 වන තුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය කණ්ඩායම සමඟ කටයුතු කළ ජයසේනයෝ 1959 දී කොළඹ විශ්වවිද්‍යාල විද්‍යා පීඨ නාට්‍ය සංගමය සමඟ එක්ව සිය පළමු වන ස්වතන්ත්‍ර නිර්මාණය වූ "පව්කාරයෝ" නාට්‍යය වේදිකා ගත කරන ලදී.
                           1961-1962 -ජනේලය, කුවේණිය
                           1964 -තවත් උදෑසනක්
                           1965 -මනරන්ජන වැඩවර්ජන
                           1968 -අපට පුතේ මඟක් නැතේ
                           1973 -මකරා
                           1975 -සරණ සියොත් සේ පුතුනි හඹා
                           1978 -සිරිසඟබෝ

පරිවර්තන නාට්‍ය
1966 -ඇමෙරිකන් ජාතික ටෙනිස් විලියම්ස්ගේ "ග්ලාස් මෙනාජර්" - "අහස් මාළිගා"
1967 -ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "කොකේසියන් චෝක් සර්කල්" - "හුණුවටයේ කතාව"
1972 -ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "ද මදර් කරේජ් ඇන්ඩ් හර් චිල්රන්ඩ්" - "දිරිය මව සහ ඇගේ දරුවෝ"